Monday, February 24, 2014

චතුමාමා හොල්මනකට බය වුණු හැටි

න්න චතුමාම අද ආවෙ ටිකක් අමුතු කතාවක් අරගෙන. වෙන ආලවට්ටම් මොකටද? කෙලින් ම කතාවට එන්නම්කෝ. චතුමාමට ඉන්නව බොහෝ ම හොඳ මිත්තරයෙක් කසුන් කියලා. ඉතින් ඔය කසුන් කියන හාදයා දවසක් චතුමාමට කතා කොළා නෙව උන්නැහෙගෙ ගම් පළාතෙ සංචාරෙකට. චතුමාමත් ඉතින් ඔටුව වගේ පයින් ම ගාටන්න ආස පුත්තරය හින්ද ඔන්න ගමෙත් ගිහින් දවස්  දෙකකුත් ගිය යි කියමුකෝ. බුදු අප්පොච්චියේ එහෙම සැලකිල්ලක්! ඒ ගෙදර අහලපහළ ඈයො ඔක්කොම ඇවිත් අඹ, පේර, දොඩම් වගේ පලතුරු ජාති ගෙනල්ලා චතුමාමට හරියට පුද සත්කාර. චතුමාමටත් දැන් හරි ම සතුටුයි. ඔය අල්ලපනල්ලෙ පහළ ගෙදර ඉන්න මාම කෙනෙක් ඇවිල්ල චතුමාම එක්ක බරට ම කතාව. බඩුමිල ගැන යි, එතනින් ගියහම දේශපාලනේ ගැනයි ගොඩක් වෙලා කයිවාරු ගහ ගහ හිටියා. අවට ඉන්න නෑදෑයො ඇවිත් කසුන් එක්ක ආගිය තොරතුරු කතා කොරකොර බලන්න එපා යැ! ඔය කතාබහට කන්දීල ඉන්නකොට එක්තරා කතාවක් නිසා චතුමාමගෙ ඇඟේ ලේ වතුර වෙලා ගියා. බලනකොට අපි ගියපු අර යාළුවගෙ ගෙදර කලින් හොල්මන් තිබිලා.

දැන් ඉතින් කලින් වගේ නෙමෙයි, යන්තමට හුළඟක සද්දයක් ඇහුණත් චතුමාමගෙ හිත ගැස්සෙනවා. ඒ බයට නෙවෙයි කියල චතුමාම ආස්සරේ කොරන අය නම් දන්නවා. අර කතාව ඇහුවයෙන් පස්සෙ චතුමාමට ඇස් පියවන්න ලැබුණෙ නෑ. ඇස් පිය වෙන කොට ම මළ යස්සනියක් ඇවිත් චතුමාමගෙ බොටුව මිරිකනව පේන්න වගේ නිසා චතුමාම මුළු රෑ ම ඇස් දෙක ඇරගෙන ම හිටියා. මිත්තරයා නම් හොඳ මිල්ල කොටයක් ඉරනව හීනෙන් ම. චතුමාම  වෙලාව බැලුව. 3.20ත් වෙලා. හතරෙ බස් එක අල්ලගන්න ඇහැක් නිසා චතුමාම උදෙන් ම යන්න කල්පනා කොළා. හරියට ම උදේ 8 වෙද්දි කොළඹ ඉන්නත් ඕනෙ. 

චතුමාම මිත්තරයට කතා කොළා. ම්හු.. සද්දයක් නෑ. ආයෙත් කතා කොළා. මෙන්න ඒ පාර යන්තමට ඇහැ ඇරලා බැලුව. 

යන්නැද්ද යකෝ? 

මම දවල් වෙලා එන්නම්. උඹ පලයන්.. 

මේ හොල්මන් ඉන්න පළාතක කොහොමද යකෝ තනිය ම යන්නෙ? 

හොල්මන් කියල දෙයක් නෑ බන්. 

මිත්තරය ආයෙත් ලී ඉරන්න පටන් ගත්තා. චතුමාමට යන්න පරක්කු වෙන නිසා චතුමාමත් විගහට ලෑස්ති වෙලා එන්න පිටත් වුණා. බස් එක ගන්න තව හැතප්ම ගාණක් බඩ ගාන්න වෙන නිසා චතුමාම අඩිය ඉස්මන් කොරලා ඇවිදිනවා. 

හොල්මන් ඉන්නව ද නැද්ද? චතුමාමට හදිසියෙ ම මතක් වුණා. කෙහෙල්මල් හොල්මන්. ඔහොම කියල චතුමාමට අඩි දහයක් යන්න බැරි වුණා, දැකපු දෙයින් කලන්තෙ වේගෙන ආවා. මෙන්න යකෝ! සුදු ඇඳ ගත්තු මිනිහෙක් පාරෙ ඇවිදිනව. ඔළුව තියෙන්නෙ බෙල්ලට වැඩිය අඩි එකහමාරක් විතර උසින්. ඒ මදිවට ඔළුවෙ ජටාවකුත් බැඳලා. ඉතිපිසෝ භගවා... බය වෙච්ච පාරට ගාථා මතක් වෙන්නෙත් නෑ. ඉතිපිසෝ ගාථාව කිව්වට හොල්මනට ගාණක්වත් නැහැ. කුණුහරුපවලට හොල්මන් බය ලු. චතුමාම දෙමව්පිය, නැදැ හිතමිත්තරයන් සිහි වෙන විදියේ කුණුහරුප වැලක් මුදා හැරියා. දැන් නම් හරි වගේ! හොල්මන යන ගමන බාල කොළා. 

ආ..! මේ මහත්තයනෙ. මම ඒත් බැලුව කවුද කියල.  බලන්නකො මහත්තයෝ, පොඩියෙකාට උණ හැදිල නෙව. මම මේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න බස් එක ගන්න යනව. ඒක නෙවෙයි, කාට ද මහත්තයෝ බැණබැණ ආවෙ? 

චතුමාමාට විළිලැජාවක් ඇතිවෙමින් සියල්ල තේරුම් ගියේ ය. සිදුව ඇත්තේ වෙනකකි. පහළ ගෙදර මාමා පොඩියෙකාට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට යන්නේ පොඩියෙකාව කරේ තබා ගෙන ය.  එවිට ඔහුගේ හිස නොපෙනේ. පෙනෙන්නේ අඩි එකහමාරක් පමණ උසින් යුතු තම දරුවාගේ හිස ය.

No comments:

Post a Comment