Thursday, April 17, 2014

වල්ලපට්ට කතාව

   අවුරුද්දත් ගෙවුණ නෙව. ඕන්න චතුමාම ආව කතාවක් අරගෙන. මේක සිද්ධ වුණේ හරියට ම අවුරුද්ද දවසෙ. චතුමාම ගියා නෙව අවුරුද්දට ගම් පළාතෙ. හරි අපූරු ගම් පළාත! බලන බලන අත වැල, වරක පුසුඹ.. වටේට ම මොනරුන්ගෙ සද්ද.. ගමේ නෙව බලන් ගියා ම අවුරුදු!

…    චතුමාමගෙ ගමේ හැමෝ ම නෑදෑයො. මොකක් හරි දුර නෑකමක් හරි තියනවා. හම්මේ.. බලන්න එපායැ ළෙන්ගතුකම! චතුමාමගෙ බඩ කොට්ටෙ වගේ පිරිලා, අවුරුදු කෑම ම කාලා. අවුරුද්ද උදා වුණා ම නෑයො කට්ටිය ම මහගෙදරට පිරෙනවා. දැන් ඔන්න චතුමාම හොඳට පුටුවක හරිබරි ගැහිලා ඉන්නව බාගෙට ඇස් පියාගෙන. 

…" ඔන්න මාත් ආව තාත්තට බුලත් කෑල්ලක් දීල යන්න.." 

    චතුමාම උඩ ගිහින් බිම වැටුණා. බලද්දි බුලත් කෑල්ලක් නෙවෙයි, බුලත් කොළ හතඅටක් ම අතේ තියාගෙන ඉන්නෙ හිච්චි බාප්පා..

…"නින්ද ගිහිල්ලැ යි හිටියෙ?"

…   චතුමාම වෙච්ච විලි ලැජ්ජාව වහගන්නත් එක්ක යන්තමට හිනා වෙලා එතනින් නැගිටලා පිල පැත්තට ගියා. හත්වලාමේ! මෙන්න හිච්චි බාප්පා බාල බාප්පත් එක්ක එතනටත් ආවා. දැන් ඉතින් චතුමාම ඒ දෙන්නත් එක්ක බරට ම කතාව. දේශපාලනෙන් පටන් ගත්තු කතාව නැවතුණේ කිඹුල් හූනගෙන්. එක එක ජාතියෙ හූනො දැකපු චතුමාමට දැන් මාර පුරස්නෙ කොහොමද කිඹුල් හූනව අඳුර ගන්නෙ කියල. දැන් ඔන්න බාල බාප්ප කියල දෙනවා.. අනිත් උන් වගේ නෙවෙයි කිඹුල් හූනව හොඳට අඳුර ගන්න ඇහැකි. ඌ ව අල්ලලා බෝතලේකට දැම්මහම උගේ ඇඟෙන් එළියක් පේනව ලු. ඔන්න චතුමාමගෙ හිතේ තිබිච්ච ලොකු බරක් නිදහස් වුණා. 

      චතුමාමට තවත් පුරස්නයක් ඒ පාර..
…"මෙහේ වල්ලපට්ට නැද්ද?"

…" මොකෝ නැත්තෙ.. පහුගිය ටිකේ ඔය පොලිසියෙන් අල්ලලත් තිබුණෙ.."
…කතාවට හවුල් වුණේ හිච්චි බාප්පා.
"… මේ පැත්තෙ ගොඩක් තියනව ද?"
" අපොයි ඔව්. ඔය කැලේට වෙන්න ගොඩක් තියනව.."  

" හොරෙන් කපන්න තරම් ඕක ඔච්චරට ම වටිනව ද?"

…" නැතුව! සැන් ද මොනවද හදන්න ගන්නවයි කියන්නෙ.. කෝටි ගණන්වලට විකිණෙන්නෙ.."

…" ඉතින් බාප්පටත් පුළුවන් නෙ කපල විකුණන්න.."
" …හපෝ! මට නම් බෑ.." 

…වටිනකමත් දැන නොකපා ඉන්න හේතුව දැන ගන්න කල් චතුමාමට ඉස්පාසුවක් නැති වුණාට හිච්චි බාප්පගෙ පිළිතුරින් චතුමාමව ගෙම්බ ගැහුව වගේ කකුල් දෙක පණ නැතුව ඇදගෙන වැටුණා. 

…" ඇයි ඉතින් බාප්ප වල්ලපට්ට කපන්නැත්තෙ?"

හපෝ.. කපල අහු වුණොත් ඒකෙ නමේ තියන දේ තමයි බං මටත් වෙන්නෙ..! "