Thursday, April 17, 2014

වල්ලපට්ට කතාව

   අවුරුද්දත් ගෙවුණ නෙව. ඕන්න චතුමාම ආව කතාවක් අරගෙන. මේක සිද්ධ වුණේ හරියට ම අවුරුද්ද දවසෙ. චතුමාම ගියා නෙව අවුරුද්දට ගම් පළාතෙ. හරි අපූරු ගම් පළාත! බලන බලන අත වැල, වරක පුසුඹ.. වටේට ම මොනරුන්ගෙ සද්ද.. ගමේ නෙව බලන් ගියා ම අවුරුදු!

…    චතුමාමගෙ ගමේ හැමෝ ම නෑදෑයො. මොකක් හරි දුර නෑකමක් හරි තියනවා. හම්මේ.. බලන්න එපායැ ළෙන්ගතුකම! චතුමාමගෙ බඩ කොට්ටෙ වගේ පිරිලා, අවුරුදු කෑම ම කාලා. අවුරුද්ද උදා වුණා ම නෑයො කට්ටිය ම මහගෙදරට පිරෙනවා. දැන් ඔන්න චතුමාම හොඳට පුටුවක හරිබරි ගැහිලා ඉන්නව බාගෙට ඇස් පියාගෙන. 

…" ඔන්න මාත් ආව තාත්තට බුලත් කෑල්ලක් දීල යන්න.." 

    චතුමාම උඩ ගිහින් බිම වැටුණා. බලද්දි බුලත් කෑල්ලක් නෙවෙයි, බුලත් කොළ හතඅටක් ම අතේ තියාගෙන ඉන්නෙ හිච්චි බාප්පා..

…"නින්ද ගිහිල්ලැ යි හිටියෙ?"

…   චතුමාම වෙච්ච විලි ලැජ්ජාව වහගන්නත් එක්ක යන්තමට හිනා වෙලා එතනින් නැගිටලා පිල පැත්තට ගියා. හත්වලාමේ! මෙන්න හිච්චි බාප්පා බාල බාප්පත් එක්ක එතනටත් ආවා. දැන් ඉතින් චතුමාම ඒ දෙන්නත් එක්ක බරට ම කතාව. දේශපාලනෙන් පටන් ගත්තු කතාව නැවතුණේ කිඹුල් හූනගෙන්. එක එක ජාතියෙ හූනො දැකපු චතුමාමට දැන් මාර පුරස්නෙ කොහොමද කිඹුල් හූනව අඳුර ගන්නෙ කියල. දැන් ඔන්න බාල බාප්ප කියල දෙනවා.. අනිත් උන් වගේ නෙවෙයි කිඹුල් හූනව හොඳට අඳුර ගන්න ඇහැකි. ඌ ව අල්ලලා බෝතලේකට දැම්මහම උගේ ඇඟෙන් එළියක් පේනව ලු. ඔන්න චතුමාමගෙ හිතේ තිබිච්ච ලොකු බරක් නිදහස් වුණා. 

      චතුමාමට තවත් පුරස්නයක් ඒ පාර..
…"මෙහේ වල්ලපට්ට නැද්ද?"

…" මොකෝ නැත්තෙ.. පහුගිය ටිකේ ඔය පොලිසියෙන් අල්ලලත් තිබුණෙ.."
…කතාවට හවුල් වුණේ හිච්චි බාප්පා.
"… මේ පැත්තෙ ගොඩක් තියනව ද?"
" අපොයි ඔව්. ඔය කැලේට වෙන්න ගොඩක් තියනව.."  

" හොරෙන් කපන්න තරම් ඕක ඔච්චරට ම වටිනව ද?"

…" නැතුව! සැන් ද මොනවද හදන්න ගන්නවයි කියන්නෙ.. කෝටි ගණන්වලට විකිණෙන්නෙ.."

…" ඉතින් බාප්පටත් පුළුවන් නෙ කපල විකුණන්න.."
" …හපෝ! මට නම් බෑ.." 

…වටිනකමත් දැන නොකපා ඉන්න හේතුව දැන ගන්න කල් චතුමාමට ඉස්පාසුවක් නැති වුණාට හිච්චි බාප්පගෙ පිළිතුරින් චතුමාමව ගෙම්බ ගැහුව වගේ කකුල් දෙක පණ නැතුව ඇදගෙන වැටුණා. 

…" ඇයි ඉතින් බාප්ප වල්ලපට්ට කපන්නැත්තෙ?"

හපෝ.. කපල අහු වුණොත් ඒකෙ නමේ තියන දේ තමයි බං මටත් වෙන්නෙ..! "



Monday, February 24, 2014

චතුමාමා හොල්මනකට බය වුණු හැටි

න්න චතුමාම අද ආවෙ ටිකක් අමුතු කතාවක් අරගෙන. වෙන ආලවට්ටම් මොකටද? කෙලින් ම කතාවට එන්නම්කෝ. චතුමාමට ඉන්නව බොහෝ ම හොඳ මිත්තරයෙක් කසුන් කියලා. ඉතින් ඔය කසුන් කියන හාදයා දවසක් චතුමාමට කතා කොළා නෙව උන්නැහෙගෙ ගම් පළාතෙ සංචාරෙකට. චතුමාමත් ඉතින් ඔටුව වගේ පයින් ම ගාටන්න ආස පුත්තරය හින්ද ඔන්න ගමෙත් ගිහින් දවස්  දෙකකුත් ගිය යි කියමුකෝ. බුදු අප්පොච්චියේ එහෙම සැලකිල්ලක්! ඒ ගෙදර අහලපහළ ඈයො ඔක්කොම ඇවිත් අඹ, පේර, දොඩම් වගේ පලතුරු ජාති ගෙනල්ලා චතුමාමට හරියට පුද සත්කාර. චතුමාමටත් දැන් හරි ම සතුටුයි. ඔය අල්ලපනල්ලෙ පහළ ගෙදර ඉන්න මාම කෙනෙක් ඇවිල්ල චතුමාම එක්ක බරට ම කතාව. බඩුමිල ගැන යි, එතනින් ගියහම දේශපාලනේ ගැනයි ගොඩක් වෙලා කයිවාරු ගහ ගහ හිටියා. අවට ඉන්න නෑදෑයො ඇවිත් කසුන් එක්ක ආගිය තොරතුරු කතා කොරකොර බලන්න එපා යැ! ඔය කතාබහට කන්දීල ඉන්නකොට එක්තරා කතාවක් නිසා චතුමාමගෙ ඇඟේ ලේ වතුර වෙලා ගියා. බලනකොට අපි ගියපු අර යාළුවගෙ ගෙදර කලින් හොල්මන් තිබිලා.

දැන් ඉතින් කලින් වගේ නෙමෙයි, යන්තමට හුළඟක සද්දයක් ඇහුණත් චතුමාමගෙ හිත ගැස්සෙනවා. ඒ බයට නෙවෙයි කියල චතුමාම ආස්සරේ කොරන අය නම් දන්නවා. අර කතාව ඇහුවයෙන් පස්සෙ චතුමාමට ඇස් පියවන්න ලැබුණෙ නෑ. ඇස් පිය වෙන කොට ම මළ යස්සනියක් ඇවිත් චතුමාමගෙ බොටුව මිරිකනව පේන්න වගේ නිසා චතුමාම මුළු රෑ ම ඇස් දෙක ඇරගෙන ම හිටියා. මිත්තරයා නම් හොඳ මිල්ල කොටයක් ඉරනව හීනෙන් ම. චතුමාම  වෙලාව බැලුව. 3.20ත් වෙලා. හතරෙ බස් එක අල්ලගන්න ඇහැක් නිසා චතුමාම උදෙන් ම යන්න කල්පනා කොළා. හරියට ම උදේ 8 වෙද්දි කොළඹ ඉන්නත් ඕනෙ. 

චතුමාම මිත්තරයට කතා කොළා. ම්හු.. සද්දයක් නෑ. ආයෙත් කතා කොළා. මෙන්න ඒ පාර යන්තමට ඇහැ ඇරලා බැලුව. 

යන්නැද්ද යකෝ? 

මම දවල් වෙලා එන්නම්. උඹ පලයන්.. 

මේ හොල්මන් ඉන්න පළාතක කොහොමද යකෝ තනිය ම යන්නෙ? 

හොල්මන් කියල දෙයක් නෑ බන්. 

මිත්තරය ආයෙත් ලී ඉරන්න පටන් ගත්තා. චතුමාමට යන්න පරක්කු වෙන නිසා චතුමාමත් විගහට ලෑස්ති වෙලා එන්න පිටත් වුණා. බස් එක ගන්න තව හැතප්ම ගාණක් බඩ ගාන්න වෙන නිසා චතුමාම අඩිය ඉස්මන් කොරලා ඇවිදිනවා. 

හොල්මන් ඉන්නව ද නැද්ද? චතුමාමට හදිසියෙ ම මතක් වුණා. කෙහෙල්මල් හොල්මන්. ඔහොම කියල චතුමාමට අඩි දහයක් යන්න බැරි වුණා, දැකපු දෙයින් කලන්තෙ වේගෙන ආවා. මෙන්න යකෝ! සුදු ඇඳ ගත්තු මිනිහෙක් පාරෙ ඇවිදිනව. ඔළුව තියෙන්නෙ බෙල්ලට වැඩිය අඩි එකහමාරක් විතර උසින්. ඒ මදිවට ඔළුවෙ ජටාවකුත් බැඳලා. ඉතිපිසෝ භගවා... බය වෙච්ච පාරට ගාථා මතක් වෙන්නෙත් නෑ. ඉතිපිසෝ ගාථාව කිව්වට හොල්මනට ගාණක්වත් නැහැ. කුණුහරුපවලට හොල්මන් බය ලු. චතුමාම දෙමව්පිය, නැදැ හිතමිත්තරයන් සිහි වෙන විදියේ කුණුහරුප වැලක් මුදා හැරියා. දැන් නම් හරි වගේ! හොල්මන යන ගමන බාල කොළා. 

ආ..! මේ මහත්තයනෙ. මම ඒත් බැලුව කවුද කියල.  බලන්නකො මහත්තයෝ, පොඩියෙකාට උණ හැදිල නෙව. මම මේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න බස් එක ගන්න යනව. ඒක නෙවෙයි, කාට ද මහත්තයෝ බැණබැණ ආවෙ? 

චතුමාමාට විළිලැජාවක් ඇතිවෙමින් සියල්ල තේරුම් ගියේ ය. සිදුව ඇත්තේ වෙනකකි. පහළ ගෙදර මාමා පොඩියෙකාට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට යන්නේ පොඩියෙකාව කරේ තබා ගෙන ය.  එවිට ඔහුගේ හිස නොපෙනේ. පෙනෙන්නේ අඩි එකහමාරක් පමණ උසින් යුතු තම දරුවාගේ හිස ය.

Saturday, August 17, 2013

අපූරු පිය සෙනෙහස

ඔන්න ආයුබෝවන්ඩ චතුමාම අද සූජානං වෙන්නෙ අපූරු පිය සෙනෙහෙසක් ගැන කියන්න. අපේ නෝනල මහත්තුරු හැමෝම දන්නවනෙ පිස්සු පූසාව. මේ පිස්සු පූසට ගොඩාක් සමීපයි චතුමාම අද කියන්න යන මේ මහත්තයා. අද චතුමාම කොළඹ ඉඳලා ආපු 154 බස් එකට දෝණියන්දෑ එක්ක නැග්ග නෙව මේ මහත්තයා. නළලෙ නෙල්ලි ඇටේ වගේ "ඉන්නා" නිසා චතුමාම පටස් ගාලා අඳුරගත්ත නෙව එතුමාව.
…අනේ.. එතුමා බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් චතුමාම දිහාවෙම රවල බලනව මිසක් වෙන වැඩක් කොරන්නෙම නැහැ නොවැ. චතුමාම ඉතින් ඒ දැරිවි දිහා බලපු එක ඇත්ත. ඒ ඉතින් වලත්තකමකට, කුපාඩි කමකට නෙවෙයි ආයුබොවන්ඩ මනුස්සකමට. අනික ඒ දැරිවිගෙ අමුතු පියකරු බවක් තිබුණා.

…පස්සෙන් පහු වෙනකොට තමා ආයුබොවන් හොඳ ම හරිය. කොහොමින් කොහොමින් හරි වාඩිවෙලා හිටපු ඩබලක් නැගිටලා ගියාට පස්සෙ චතුමාමටයි අර දෝණියන්දැටයි සීට් එකක් ලැබුණයි කියමුකෝ.. දැන් චතුමාම වීදුරුව පැත්තෙ. අර දෝණියන්දැ මෙහා පැත්තෙ. දැන් චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. ඒකෙන් ඒ මහත්තයට වාඩි වෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ නෙව. තමන්ගෙ දුවව රකින්න තාත්ත කෙනෙක් කොච්චර මහන්සියක් ගන්නවද කියල හිතපු චතුමාම වීදුරුවට බර වෙලා ඇස් පියා ගත්තා.

Tuesday, August 6, 2013

සුනිලුත් ඉන්නවා..

ඕන්න ඉතින් චතුමාම ගොඩ කාලෙකින් කතාවක් අරන් ආව. රාවණා ගැන කතා වෙන එක දැන් අපේ ගොයියො ටිකක් අත් ඇරල වුණාට මේකත් ඉතින් රාවණා සම්බන්ධ කතා පුවතක්. මේකට මූණ දීපු කට්ටියට නම් මතක් වෙද්දිත් බඩ අල්ලගෙන හිනා.

…චතුමාම ඉන්නවනෙ ආයුබොවන්ඩ ගිහි පිරිත් කණ්ඩායමක. චතුමාම තමා ඒකෙ ළාබාල ම උපාසක තැන. ඒව වැඩක් නැහැ නොවැ කෙලින් ම කතාවට එමුකෝ. ඉතින් අපේ මේ කණ්ඩායමේ ඉන්නව සීලදාස මහත්තය කියල ටිකක් වයසක උපාසක මහත්තයෙක්. මේ සීලදාස මහත්තයට ටිකක් ඇහෙනව මදි. දවසක් කට්ටිය ම ගිය යි කියමුකො පිරිතකට. මහපිරිත ඉවර වෙලා උපාසක මහත්තුරු දෙන්නෙක් ඉඳිද්දි කට්ටිය ඔක්කොම ලැගුම් ගෙට ගියා නෙව ටිකක් ඇල වෙන්න හිතාන. ඔහොම ඉද්දි අපේ අර සීලදාස මහත්තයට ටිකක් නින්ද ගොහින්. ඇහැරවල එක්ක යන්නත් මොකද්ද වගේ නිසා සීලදාස මහත්තය වෙනුවට වෙන කෙනෙක් ගිහින්. සීලදාස මහත්තය ඇහැ ඇරිල බලද්දි පිරිත පටන් අරන්. චතුමාමට ඉතින් රෑට නින්ද යන්නෙ නැති රෝගයක් තියනව නෙව.

…ඉතින් මේ වෙලාවෙ චතුමාම හිටියෙ පුටුවක වාඩි වෙලා තව පිරිසක් එක්ක පිරිත් ගැන, බුදු බණ ගැන කතා කර කර. කොහොම හරි කතාව දුර ගිහින් නැවතුණේ අන්තිමට රාවණා ළඟ. ඔය අල්ලෙ පනල්ලෙ සීලදාස මහත්තයත් අපි ඉන්න තැනට ඇවිත් පුටුවක හරි බරි ගැහිල වාඩි වුණා. දැන් එක්කෙනෙක් කියනව රාවණා කියල කෙනෙක් ඉන්නව කියල. තව කෙනෙක් කියනව රාවණා කියන්නෙ මිත්‍යාවක් කියල. චතුමාමට දැන් මාර පුරස්නෙ රාවණා ගැන. චතුමාමට මතක් වුණා මේක සීලදාස මහත්තයගෙන් ඇහුව නම් හොඳයි කියලා. චතුමාම ඇහුව මෙන්න මෙහෙම " සීලදාස මහත්තයො, රාවණා තාම ඉන්නවද? " එතකොට සීලදාස මහත්තය කියාපි මෙහෙම :
…" අනේ මන්ද.. සුනිල් ඉන්නවනෙ."

…බලනකොට සීලදාස මහත්තයට ඇහිල තියෙන්නෙ ඊළඟ බණවරට යන්නෙ කවුද කියල ඇහුව කියලා.

Wednesday, September 19, 2012

පෝස්ටර් ගැහිල්ල!

        චතුමාම ඔන්න අදත් ආව නෙව කතාවක් අරගෙන. වැඩි සුකුරුත්තන් දාල මොකටද? චතුමාම කතාවට එන්නම්කෝ..... ඔන්න චතුමාමගෙ ගෙවල් ළග පන්සලක් තියෙනව. ඕකෙ නායක හමුදුරුවන්ගෙ ඉදල, පන්සලේ ඉන්න බලු කුක්ක පවා චතුමාමත් එක්ක බොහොම එකතුයි. හැම පන්සලේම වගේ මේකටත් උපාසිකා පිරිසක් ඉන්නව නෙව හැමදේම හොයල බලන. ආ.... තවපොඩ්ඩෙන් චතුමාමට අමතක වෙනව!.. මේ පන්සලට එනව ගිහාන් කියල කොලු ගැටයෙකුත්. මිනිහ ටිකක් මෝඩපහේ මිනිහෙක්. කවුරු හරි බොරුවක් කිව්වත් කියන පරක්කුවෙන්ම මිනිහ රැවටිලා ඉවරයි. ඒ වගේම තමයි මිනිහ අනුන් කොටවන්නත් හරිම දස්සය!... ඔහොම කාලෙ ගෙවෙද්දි ඔන්න පන්සලේ කඨිනෙත් ළග ළගම එනව. පන්සලේ දායකයො, එතනින් ගියහම..... උපාසක අම්මලා ගජරාමෙට වැඩ. පන්සලම අලුත් වෙලා. එක්කෙනෙක් හුණු ගානවා, තව එක්කෙනෙක් බුදුපිළිම හෝදනවා. හැමෝම පුදුම සහයෝගයක් තමයි දෙන්නෙ. ඇයි ඉතින්.. ගමේ පන්සලනෙ. චතුමාමත් බැහැල වැඩ. පන්සලට අල්ලපු වැටේ වත්තක් තියෙනව පොඩි පොඩි ගෙවල් 50ක්, 60ක් තියෙන. ඒව ඔක්කොම කුලියට දීල තියෙන්නෙ සුනීතා කියල බවලතෙක්. සුනීත උපාසක අම්මත් ටිකක් වෙලා පන්සලේ ඉදලා ගෙවල් පැත්තෙ ගිහින් එන්නම් කියල ගියා. අම්මට සිරි!.. චතුමාමට බාර දීල තිබුණ නෙව කඨිනෙ ගැන විස්තර තියෙන පෝස්ටර් ටික අලවල දාන්න. ඒක එහෙම්මම අමතක වෙලා ගියා. චතුමාමට දැන් මාර අස්පට් එක. චතුමාම හිමිහිට උපාසක අම්මකෙනෙක් ගාවට කිට්ටු වෙලා පෝසටරේ ගහන්න බැරිවෙච්ච බව කිව්වා. උපාසක අම්ම කියනව චතුමාමට යන්න එපාලු. ගිහාන්ව යවන්නලු. චතුමාම ඉතින් චිත්තර කාරය නෙව. චතුමාම ඒවෙලාවෙ හිටියෙ හුණු ගාපු බිත්තියක අකුරුවගයක් ඇද ඇද. ඉතින් අර උපාසකම්මා ගිහාන්ව ගෙන්නලා, පාප්පත් හදල දීල " ගිහාන්, කාටත් හොදට පේන තැන්වල ඔයටික අලවන්න" කියල පොඩි උපදේසෙකුත් දීල පිටත්කොළා. මෙන්න පැයකට විතර පස්සෙ මිනිහ එනව දුන්න වගේම පෝස්ටර් ටිකත් උස්සගෙන! උපාසකම්මට අම්බානක තදවෙලා. මෙච්චර වෙලා ගිහිල්ලත් පෝස්ටර් ගැහුවෙ නැද්ද බූරුවෝ කියල එකපාරටම ගිහාන්ගෙ ඇගට කඩාගෙන පැන්නෙ නැතෑ. ගිහාන් තක්බීර්වෙලා බලන් ඉන්නව. පාරෙත් තැනින් තැන ගැහුවා. හැමෝටම පේන තැනක ගහන්න කියලනෙ මට කිව්වෙ. ඉතින් මම එකක් ගැහුව නියමෙට පේන තැනක. කොහේද ගැහුවෙ? උපාසකම්මා ඇහුවා. ගිහාන් කියපි මෙන්න මෙහෙම...."සුනීතා ඇන්ටිගෙ වත්තෙ... ටොයිලට් එකේ ඇතුල් පැත්තෙ!" 

Tuesday, September 11, 2012

චතුමාමාට හමුවූ තාපසතුමා!

   පළාස්සබා ඡන්දෙනුත් කොටහක් අහවර උණා නෙව. ලොකුඅයිය (ලොකු අයිය කිව්වෙ හිතේ තියෙන භක්තියට මිසක් සිරික්කියට හෙම නෙවෙයි හරිය!)මේපාරත් යන්තම් ගොඩ ගියා නෙ. චතුමාම අහස දිහා බලාගෙන හිටියා. සුදුම සුදුපාට වලාකුළු පිරිච්ච අහස හරිම ලස්සනයි නෙව. චතුමාමට පැoචා කාලෙ ඉගෙනගත්තු පොඩි කවියක් මතක් උණා.
  

       "සමන් පිච්චමල් ඉහිරුණු
        නිල් තණකොළ පිට්ටනියක්
        වගෙයි අහස අන්න බලනු
        කොච්චර ලස්සනද රෑට"
   
   තාම තරු පේන්නෙ නම් නෑ. මුළු අහසම නිල්පාට තණකොළ පිට්ටනියක් වගේ පේනවා. නිල්පාට කිව්වට ආයුබොවන්ඩ කවුරුවත් වැරදියට තේරුම් ගන්නව එහෙම නෙවෙයි. චතුමාම ඒ කිව්වෙ කවි බාසාවෙන්. කවි බාසාවෙ කොළ පාටයි, කළු පාටයි හදුන්වන්නෙ නිල් පාට කියල නෙව. ඒ කොහොම වෙතත් අද නම් අහස ලස්සනයි කියල චතුමාමට හිතුණා.චතුමාම පිලේ තවත් හොදට ඈදිගෙන අහස දිහා බලාගෙන හිටියා. එකපාරටම අහස කළුකරගෙන කළු වලාකුළක් චතුමාමගෙ පැලට උඩින් පාවීගෙන එනව චතුමාම දැක්කා. වැහිකළුවක් වෙන්න ඇති. චතුමාමට එහෙම හිතුණා. අප්පට සිරි ගජ! මේ අර අහසින් වඩින තාපසතුමෙක් නෙව. චතුමාම අප්පුඩි ගහ ගහ කෑ ගැහුවා. තාපසතුමාත් චතුමාමව අදුරගෙන ගමනෙ වේගෙ බාල කොළේ නැතෑ. තාපසතුමා දැන් හෙලිකොට්ට උරේ වගේ මෙන්න බොලේ එක තැන බිමට බානවා. කොහෙද අප්පේ මේ පු* කැඩිච්ච කඩිය වගේ උඩින් යන්නෙ?. මම හිතුවෙ වැහි කළුවක් එනව කියලා! නෑ දරුවා.... මම මේ පිටකොටුවට යන ගමන්. ඔහෙප්පලයන් කිව්වලු! අර මක්කටෙයි පිටකොටුවට යන්නෙ? චතුමාම අන්දකයිප්පු කාල වගේ තාපසතුමා දිහා බලන් හිටියා. තාපසතුමාට චතුමාමගෙ මස්තබාල්දු, තක්බීර් වෙච්ච පෙනුමෙන්ම හිතෙන්න ඇති, චතුමාමගෙ හිතේ ඇති වෙච්ච කුකුස. තාපසතුමා කතාව පටන් ගත්තා. මම මේ ලැට්ටොප් එකට චාජරයක් ගන්න යන ගමන් දරුවා! පණ පලයන් පෙරේදා කිව්වලු! ඔබවහන්සෙට මක්කටෙයි ලැට්ටොප් එකක්? ඉස්සර කාලෙ වගේ නෙවෙයි දරුවො දැන් තාස්සනේ දියුණුයි නෙව. හිමාලෙ ඉන්න අපේ තාපසතුමාලත් එක්ක අපි චැට් කොරන්නෙ ඕකෙන්. අනික ඉතින් පේස් බුක් යන්නත් එපැයි. ඔබතුමා රේස්බුකියකටත් යනවද? චතුමාම හොල්මන්වෙලා ගියා. . රේස්බුකියක් නෙවෙයි යකෝ! ඒපාර තාපසතුමාට කේන්ති ගියා. ගැත්තාට අනුකම්පා කොරන්න තාපසතුමෝ. චතුමාමා තාපසතුමාගේ දෙපාමුල වැටුණා. රේස් බුකියක් නෙවෙයි දරුවා පේස් බුක්. දැන් ඔය කොල්ලො කෙල්ලො යන්නෙ. චතුමාමා තේරුණා වගේ ඔළුව වැනුවා. චතුමාමා දන්න බුකියක් නැත. දන්නේ රේස්බුකිය ගැන විතරය. ඔබතුමාට පිටකොටුවෙ යනවට වැඩිය ලාබයි නෙව තාපසතුමෝ, ඉන්න පළාතෙ කඩේකින් ගත්ත නම්? නෑ දරුවා!..... ඊට වඩා ලාබයි පිටකොටුවෙ පේමන්ට් එකේ ඇහින්දාස් පොරක්ගෙන් ගත්තම. මොකෝ තාපසතුමා එකපාරටම චාජරේ පිච්චුණේ? ආණ්ඩුව හින්ද තමයි දරුවා! ඒ කිව්වෙ? මම භාවනා කොරන ගමන් පොඩි ජොබ් කට්ටක් කොරානෙ. ඉතින් ඉතින් .......මොකද්ද අප්පේ... ඔය ජොබ් එක? ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කුපිත කොරන එක තමයි දරුවා. ඒ කිව්වෙ තාපසතුමා? ඔය පිට රටවල ඉන්නවනෙ... සිරිලන්කා දේසප්පෙරේමී නෝනල මහත්තුරු. ඒ අයගෙ ඕන එපාකම්වලට එක එක කතා ටයිප් කොරන්නයි කටකතා පතුරන්නයි තමයි දරුවා අපිට තියෙන්නෙ. අතට ගතමන්ට් එක ලැබෙනව නම් රටට හෙණ ගැහුවත් මොකෝ දරුවා! චතුමාමගෙ ඔළුව මඤ්ඤo වුණා. ඉතින් තාපසතුමෝ මොන හත්තිලව්වකටද එහෙනම් ලැට්ටොප් චාජරේ පිච්චුණේ ආණ්ඩුව හින්දයි කිව්වෙ? ආණ්ඩුවට විරුද්ධව බොරු කතා හදන්න ගිහින් තමයි
යකෝ එහෙම උනේ.  ගහන ගහන හෙනේ කොටපොළට කිව්වලු! චතුමාමා තාපසතුමා දෙස බැලුවා. තාපසතුමා අන්තරස්දහන් වෙලා ය. ඈතට පාවී යන වැහිකළුවක් යන්තමට චතුමාමා දැක්කා. ඔළුව වටේටම තරු පායන බව චතුමාමට පෙනුණා. චතුමාමට අර සින්දුව මතක් වුණා. 

         "සමන් පිච්චමල් ඉහිරුණු
         නිල් තණකොළ පිට්ටනියක

          වගෙයි අහස අන්න බලනු
          කොච්චර ලස්සනද රෑට"
   

Sunday, September 9, 2012

මියගිය ඥාතියා බණ අසන්නට ඇවිත්!

චතුමාම කිව්ව නෙව හොල්මන් ගැන ඇත්ත කතාවක්. ඒ පාර දාන්න යන්නෙ ඇත්තම සිදුවීමක් කියල හිතාගන්න පුළුවන් එකක්. මේකත් චතුමාමට ලැබුණෙ යාළු මිත්තරයෙකුගෙන්. ඒත් මේකට අයිතිකාරයෙක් නම් නෑ.
 

 





  



     


     පින පව මත පුද්ගලයෙකුගේ මරණින් මතු දිවිය තීරණය වන බවනෙ බෞද්ධ ඉගැන්වීම වෙන්නෙ. මියගිය පුද්ගලයා හත්දවසෙ බණ ඇසීමට තම නිවසට එන බැව් මතුගම මහින්ද විජේතිලක මහතා සහ කඹුරාවල සිරි රේවත  හිමියන් විසින් රචිත අපට නොපෙනෙන ලෝකය 3 (එහි 131- 132 පිටූ) නම් පොතෙහිද ඇතිබව චතුමාමට හොදටෝම විශ්වාසයි. ඉතින් මේ අවස්ථාවේත් සිදුව ඇත්තේත් එවැන්නක් බවයි චතු මාමගෙ අදහස. චතුමාමගෙ අදහස නොපිළිගන්න කෙනෙක් ඉන්නව නම් චතුමාමට ලියන්න.